Posted by: Lakmal Warusawithana | March 8, 2008

වියළි වැලි මත ඇවිදීමට වඩා තෙත වැලි මත ඇවිදීම පහසු ඇයි?

වියළි වැලි මත ඇවිදීමට වඩා තෙත වැලි මත ඇවිදීම පහසු වනුයේ, එහිදී ජලය මැලියම් ආකාරයට ක්‍රියා කරන බැවිනි. වියළි වැලි මත අඩිය තැබූ විට වැලි කැට වලට එහා මෙහා වීමට නිදහස වැඩි බැවින් ගමන් කිරීම අපහසු කරවයි.

තෙත වැලි වල ඇති වැලි කැට, ඒවා එකිනෙක වටා ඇති ජල තට්ටුවකින් වෙන්ව පවතී. වැලි කැට හා ජලය යන දෙවර්ගයම සෑදී ඇත්තේ අණු වලිනි. ජල අණු ජල අණු අතර ආකර්ෂණයක් ඇති අතර වෙන් කිරීමට ප්‍රතිරෝදයක් දක්වයි. මෙසේ අණු, ඒ වර්ගයේම අණු සමග එකිනෙක බැදී සිටීමට දක්වන කැමැත්ත “සංසක්ති” (cohesion) බලය ලෙස හඳුන්වයි.

ඊට අමතරව ජල අණු වැලි අණු වලටද ආකර්ෂණයක් දක්වයි. මෙසේ එකිනෙක වෙනස් අණු, ඒවා එකිනෙක බැදී සිටීමට දක්වන කැමැත්ත “ආසක්ති” (adhesion) බලය ලෙස හඳුන්වයි.

මෙම සංසක්ති හා ආසක්ති බල දුබල බලයන් වේ. එසේවුවත් තෙත වැලි වල, ජල අණු විශාල සංඛ්‍යාවක් වැලි අණු විශාල සංඛ්‍යාවක් සමග ඇලී පවතින බැවින් සැලකිය යුතු බලක් ඇති වේ.

මෙම ජල අණු, ජල අණු අතර ඇති සංසක්ත බලයත්, ජල අණු, වැලි අණු අතර ඇති ආසක්ත බලයත්; එකිනෙකට ආසන්නව ඇති වැලි කැට, එකිනෙකට අලවා තබා ගැනීමට උපකාරි වේ.

මේනිසා පුද්ගලයකු තෙත වැලි මත පා තබන විට, වැලි කැට එකිනෙකට ඇලී පවතින බැවින්, වියළි වැලි වලට වඩා තද බවකින් යුක්ත වීම, ඇවිදීම පහසු කරවයි.

පරීක්ෂාව: මෙම සංසක්ත හා ආසක්ත බලවල ක්‍රියාකාරීත්වය ගෙදරදීම ඔබට පරීක්ෂා කළ හැක. කෑම පිඟන් දෙකක් ගෙන, ඉන් එකක් මතුපිටට වතුර ස්වල්පයක් දමා අනිත් පිඟාන එය මත තබන්න. ඉන්පසු උඩ පිඟාන ගැලවීමට උත්සාහ කිරීමේදී, එය ගැලවීමට අපහසු බව ඔබට පෙනී යනු ඇත. මෙයට හේතුවත් ඉහත කී සංසක්ත හා ආසක්ත බලවල ක්‍රියාකාරීත්වයි.


Leave a comment

Categories