meemassa.jpgමී මැස්සන් මී පැණි සාදනුයේ මල් පැණි වලිනි. මල් පැණි වල 80% ජලයද ඉතිරිය සංකීර්ණ සීනි අණු ද වේ. මී මැස්සන් විවිධ මල් වලින් පැණි උරා බොයි. මී මැස්සන් බටයක් වැනි උන්ගේ දිවෙන් මල්පැණි උරා ගෙන ඒවා උන්ගේ “පැණි උදරයේ” ගබඩා කර ගනී. උන්ට “පැණි උදරයක්” හා “සාමාන්‍ය උදරයක්” ලෙස උදර දෙකක් ඇත. “පැණි උදරයට” 70 mg පමණ මල් පැණි ගබඩා කල හැක. මේ සදහා උන් සාමාන්‍යයෙන් මල් 100 ත්‍ 1500 ත් අතර ප්‍රමාණයකින් පැණි උරා බොයි.

පැණි මී මැස්සන් මල් පැණි බී අවසන්ව, මී වදය වෙත ගොස් ඒවා වැඩකාර මැස්සන්ට ලබා දේ. උන් ඒවා පැණි මැස්සන්ගෙන් උරා ගෙන, පැය භාගයක් පමණ සපයි. මෙම කාලය තුල එන්සයිම මල් පැණි වල ඇති “සංකීර්ණ සීනි අණු” සමග ක්‍රියාකර “සරල සීනි අණු” බවට පෙරලයි. මෙම සරල සීනි අණු දිරවීමට පහසු මෙන්ම මී වදයේ ගබඩා කර තැබීමේදී ඇතිවෙන බැක්ටීරියා ක්‍රියාකාරීත්වයද අඩු කරයි. ඉන්පසු මෙම වැඩකාර මැස්සන් මේවා මධුපටක වල විසුරුවා හැර එහි ඇති ජලය, වාෂ්ප වීමට ඉඩ හරී. මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට උන් ඒවා අසලින් පියාඹමින් උන්ගේ පිහාටු වලින් හුලං ගසනු ලැබේ. මෙමගින් පැණිය උකු වූ විට මධුපටක ඉටි මූඩියකින් වසනු ලැබේ.

Posted by: Lakmal Warusawithana | February 19, 2008

ගිනිකූරු දැල්වෙන්නේ කෙසේද?

ginikuru.jpg

එදිනෙදා ජීවිතයේදී ගිනිකූරු වර්ග දෙකක් භාවිතා වේ. එනම් “ආරක්ෂිත” ගිනිකූරු හා “කොතනත් දැල්වෙන” ගිනිකූරුයි. ආරක්ෂිත ගිනිකූරු දැල්වීමට ඒවා ගිනි පෙට්ටි මුහුණතෙහි ඝට්ඨනය කල යුතු අතර “කොතනත් දැල්වෙන” ඒවා ඕනෑම ඝන මුහුණතක ගැටීමෙන් දැලිවිය හැක. ගිනිපෙට්ටි මුහුණත සාදා ඇත්තේ වැලි, වීදුරු කුඩු හා “රතු පොස්පරස්” මිශ්‍රනයකිනි. එසේම ආරක්ෂිත ගිනිකූරු වල හිස සාදා ඇත්තේ සල්ෆර්, වීදුරු කුඩු හා ඔක්සිකාරක රසායනික ද්‍රව්‍යක මිශ්‍රනයකිනි.

ඔක්සිකාරක රසායනික ද්‍රව්‍යක් යනු, වෙනත් රසායනික ද්‍රව්‍යකින් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා ද්‍රව්‍යකි. මෙසේ රසායනික ද්‍රව්‍යකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වූ විට, එය ඔක්සිකරණය වේ යැයි කියමු. ගිනි දැල්වීමට ඔක්සිකාරක ද්‍රව්‍යක් අවශ්‍ය වේ. ඔක්සිජන් සුලභ ඔක්සිකාරක ද්‍රව්‍යකි.

ගිනිකූර ගිනිපෙට්ටි මුහුණතෙහි ගැසූ විට වීදුරු කුඩු එකිනෙක ඇතිල්ලීමෙන් ඇතිවෙන ඝර්ෂණය හේතුවෙන් හටගන්නා තාපය; ඉතා කුඩා රතු පොස්පරස් ප්‍රමානයක්, සුදු පොස්පරස් බවට පරිවර්තනය වේ. සුදු පොස්පරස් වාතයේදී ගිනි ගනී. මෙම තාපය නිසා, ඔක්සිකාරක ද්‍රව්‍ය ඔක්සිජන් වායුව නිපදවයි. එසේම තාපය හා ඔක්සිජන්, සල්ෆර් දැල්වී ගිනි දැල්ලක් ඇති කිරීමට හේතු වේ.

“කොතනත් දැල්වෙන” ගිනිකුරු දැල් වෙන්නේ මේ ආකාරයටම වන අතර, රතු පොස්පරස් ගිනිපෙට්ටි මුහුණතෙහි තබනවා වෙනුවට ගිනිකූරු හිසටම එක් කරයි. මෙනිසා ගිනිකූරු හිසේ වර්ණය බැලීමෙන් අපට ඒවා කුමන වර්ගයට අයත් දැයි කිව හැක. “ආරක්ෂිත ගිනිකූරු” හිස එක වර්ණයකින් දිස් වෙන අතර, “කොතනත් දැල්වෙන” ගිනිකුරු පාට දෙකකින් දිස් වේ.

gadawila.jpgගැඩවිලකුට ඇත්‍තේ සරල ජීවන ක්‍රමයකි. උන් පොලවේ ඇති කාබනික ද්‍රව්‍ය ආහාරයට ගනී. උගේ ආහාර ජීරණ පද්ධතිය, සංසරණය හා ස්නායු පද්ධතිය ඉතා සරලය.

ගැඩවිලන්ගේ ශරීරය කුඩා කොටස් වලට (ඛණ්ඩ වලට) බෙදී පවතී. සාමාන්‍යයෙන් ගැඩවිලන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් සදහන් කරනුයේ උගේ මුඛයේ සිට ඇති ඛණ්ඩ ගණනෙනි. උදාහරණයක් ලෙස උන්ගේ ග්‍රසනිකාව පිහිටා ඇත්තේ මුඛයේ සිට ඛණ්ඩ 3ක් හෝ 5ක් දුරිනි. සාමාන්‍යයෙන් මුඛයේ සිට ඛණ්ඩ 21කට වරක් ගැඩවිලන්ගේ සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රියන් නැවත පිහිටයි. ගැඩවිලන් දිගෙන් වැඩිවත්ම, උන්ට සමාන ඉන්ද්‍රියන් කට්ටල කිහිපයක් පිහිටයි.

මේනිසා ගැඩවිලෙක් කැපුනු විට ඉන් එක් කොටසක හෝ සියලුම ඉන්ද්‍රියන් කට්ටලක් තිබිය හැකි අතර, එමගින්‍ නොනැසී සිටීමට පුලුවනි.

Posted by: Lakmal Warusawithana | February 15, 2008

අපට ඉක්කා හට ගන්නේ ඇයි?

ikka_wateema.jpg

ප්‍රාචීරය නැමති විශාල අර්ධ කවාකාර පේශිය අපට හුස්ම ගැනීමට උපකාරී වේ. සමහරක් වෙලාවට මෙම ප්‍රාචීරය දැගලීමට හෝ කැසීමට ලක් වේ. එවිට ප්‍රාචීරය පාලනයකින් තොරව ගැස්සීමට හා හැකිලීමට (සංකෝචනයට) ලක්වේ. මෙසේ හැම හැකිලීමකට වරක්ම වාතය පෙනහළු වලට ඉතා ඉක්මනින් ගලා ඒ. මෙම වාතය ගමන් කරනුයේ ස්වරාලය හරහාය. ස්වර තන්තු කම්පනය කරමින් වේගයෙන් ගමන් ගන්නා වාතය නිසා රසදිව ක්ෂණිකව වැසේ. මෙම කම්පනය තුලින් අපට හුරු පුරුදු “ඉක්” යන ශබ්දය නැගෙයි.

මෙලෙස ප්‍රාචීරයේ ඇති වන ගැස්මට නොයෙකුත් හේතු ඇත. වේගවත්ව අහාර ගැනීම, ඉක්මන් ආතතිය හා සමහර රෝගද ඒ අතර වේ. ඉක්කා සදහා නොයක් ජනප්‍රිය පිළියම් ඇත. නාසය, කට තදකර ගෙන තරමක් වෙලා සිටීම හෝ කොල උරයකට ආශ්වාස ප්‍රශ්වාස කිරීම මගින් පෙනහළු වල කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහල යෑම ප්‍රාචීරයේ ගැස්‍ම අඩු කර ඉක්කාව නවතයි.

octane_agaya.jpgඔක්ටේන් අගය තේරුම් ගැනීමට පෙර, වාහන වල එංජිමේ ක්‍රියාකාරීත්වය ගැන මදක් බලමු. එංජිමට බලය ලබා ගනුයේ, පෙට්‍රල් (හෝ ගැසලීන්) හා වාතය පාලනයකින් යුක්තව දහනය කිරීමෙනි. මෙම දහනය පාලනය කරනු ලබන්නේ, එහි ඇති රසායනික ද්‍රව්‍ය වල සංයුතියේ අනුපාතයෙනි.

පෙට්‍රල් වල නොයෙක් අගයන්හිදී දහනය වන රසායනික ද්‍රව්‍ය කීපයක් ඇත. අයිසොඔක්ටේන් (Isooctane) යනු එවැනි නියමිත අගයේදී දහනය වන රසායනික ද්‍රව්‍යකි. හෙප්ටේන් (n-heptane) ඉතා ඉක්මනින් දහනය වන රසායනික ද්‍රව්‍යකි. අයිසෝඔක්ටේන් වල ඔක්ටේන් අගය 100 ලෙසද හෙප්ටේන් වල ඔක්ටේන් අගය 0 ලෙසද අර්ථ දක්වා ඇත. මෙලෙස මෙම රසායනික ද්‍රව්‍ය දෙක මිශ්‍ර කරන අනුපාතය පෙට්‍රල් වල ඔක්ටේන් අගය ලෙස ගැනේ.

Posted by: Lakmal Warusawithana | February 12, 2008

මදුරුවන් අපව කන්නේ ඇයි?

maduruwo.jpg

ඇත්තෙන්ම අපව කන්නේ ගැහැණු මදුරුවන් පමණි. එයට හේතුව ගැහැණු මදුරුවන් ජීවයේ මූලික කොටසක් වන අයිසොලෙව්සීන් (Isoleucine) නැමැති ඇමයිනෝ අම්ලය (Amino acid) සෙවීමයි. ප්‍රෝටීන නිපදවීමට උපකාරී වනුයේ මෙම ඇමයිනෝ අම්ලයයි.ගැහැණු මදුරුවන්ට බිත්තර දැමීම සදහා මෙම ප්‍රෝටීන අවශ්‍ය වන අතර, උන්ට අයිසොලෙව්සීන් ලැබුනහොත් බිත්‍තර 100 ක් පමණ දැමිය හැකි අතර නොලැබුනහොත්‍ දැමිය හැක්කේ බිත්තර 10 ක් පමණ වේ.

අපගේ රුධිරයේ මෙම අයිසොලෙව්සීන් ඇත. ගැහැණු මදුරුවන් උන්ගේ මුව තුල ඇති උල් කටුවෙන් (ශුණ්ඩාව) අපගේ සම සිදුරු කර රුධිර වාහිනී සොයයි. ඉන්පසු උන්ගේ මුව නළයෙන් ලේ උරා බොයි. සාමාන්‍යයෙන් මදුරුවන්ට උන්ගේ ශරීරයේ බර මෙන් 4 ගුණයක් බර ලේ ප්‍රමාණයක් උරා බිය හැක. එසේම උන් ලේ උරා බොන විට, උන්ගේ ඛේටය අපගේ ඇග තුලට ඇතුල් කරන අතර එමගින් ලේ කැටි ගැසීම වලකී.

ඇත්තෙන්ම අපගේ රුධිරයේ අයිසොලෙව්සීන් ප්‍රමාණය මීහරකුන්ගේ හෝ මීයන්ගේ අයිසොලෙව්සීන් ප්‍රමානයට වඩා අඩුය. නමුත් මිනිසුන් ගහනය වැඩි බැවින් මදුරුවන් අපෙන් ලේ උරා බොයි.

Posted by: Lakmal Warusawithana | February 12, 2008

අකුණු ගසන විට ගොරවන්නේ ඇයි?

akunu.jpg

ගෙරවීම විග්‍රහ කිරිමට පෙර ශබ්දය ඇසෙන්නේ කෙසේදැයි බලමු. යම් කිසිවක් කම්පනයෙන් ඒ වටා ඇති වායු අණු කම්පනය වී ඒ වායු අණු වටා ඇති අනෙකුත් වායු අණු කම්පනයට ලක් වේ. මෙලෙස වායූ අණු එකිනෙක කම්පනය වී එමගින් අපගෙ කන්බෙරය (කර්ණ පටහ පටලය) (Eardrum) කම්පනය වීම හේතුවෙන් අපට ශබ්දය ඇසේ.

අකුණක් යනු අති විශාල විදුලි විසර්ජනයකි. විදුලිය සෑදී ඇත්තේ ඉලෙක්ට්‍රෝන (Electrons) වලිනි. අකුණක් ගසන විට අති විශාල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් වාතය හරහා එකවිට විදිනු ලැබේ. මෙම ක්‍රියාවලියේදි ඉලෙක්ට්‍රෝන වායු අණු රාශියක් මත හැපේ. මෙනිසා ඇති වන අධිකතර තාපය නිසා ඒ වටා ඇති වායු අණු ඉතා වේගයෙන් ප්‍රසාරණයට ලක්වේ. මෙනිසා ඇතිවන කම්පනය අපට ගෙරවීමක්, ගිඟුරුමක් ලෙස ඇසේ. මෙම ශබ්ද තරංග පොළවේ හා අප වටා ඇති සියලු දේ හි ගැටීම හේතුවෙන් යම් කම්පනයක් ලෙස දැනේ.

සාමාන්‍යයෙන් ශබ්දය තත්පරයට මීටර 340 ක වේගයකින් ගමන් කරයි. මෙනිසා අකුණක් ගසා ගෙරවිමට ගතවන කාලය ගණන් කිරීමෙන්, එම අකුණ කොපමණ දුරකින් හට ගත්තේදැයි සොයාගත හැක.

අනිකුත් ශාක මෙන්ම, ලූණුද සෛල වලින් සෑදී ඇත. මෙම සෛල කුඩා සිවියකින් කොටස් දෙකකට වෙන්ව පවතී. සිවියේ එක් පසක් එන්සයිම (Enzyme) වලින් ද, අනිත් පස සල්ෆර් (Sulfur) මූලද්‍රව්‍ය අඩංගු අණු ද පවතී. අප ලූනු කපන විට මෙම සිවිය දෙපස ඇති ද්‍රව්‍ය එකට මිශ්‍ර වේ. මෙසේ මිශ්‍ර වීමෙන් එන්සයිම සල්ෆර් සමග ප්‍රතික්‍රියා රාශියකට බදුන් වී සාදන එතිල්සල්ෆයින් (Ethylsufine) අපගේ ඇස් වලට කදුළු උනවයි.

මෙසේ ඇස් වලින් කදුළු ගැලීම වලක්වා ගැනීම සදහා ක්‍රම කීපයක් අනුගමනය කළ හැක. සීතල වතුර බදුනක බහා ලූණු කැපීම මගින් සල්ෆර් අඩංගු පදාර්ථ ජලයේ දිය වීම හේතුවෙන්, කදුළු ගැලීම වලකා ගත හැක. එසේම කැපීමට පෙර ලූණු මිනිත්තු 10-15 අතර කාලයක් අධි ශීතකරණයේ තබා ගැනීමෙන්, ප්‍රතික්‍රියා වේගය අඩු වී, කදුළු ගැලීම අඩු කරගත හැක.

wawlo.jpg
වවුලන්ගේ පියාපත් වල රෝම හෝ පිහාටු නොමැති බැවින්, දහවල් කාලයට පියාඹුවහොත් ඒවා වියළීමට පත්වේ.සමහර වවුලන් පළතුරු කන අතර බොහෝ වවුලන් කන්නේ කෘමීන්ය. එසේම වවුලන් පාර සොයා පියාඹීමට පෙනීමට වඩා ශබ්දය භාවිතා කරයි. මෙසේ ශබ්දය උපයෝගී කරගෙන පාර සොයා ගැනීම “දෝංකාරය මගින් ස්ථාන සොයාගැනීම” (Echolocation) ලෙස හැදින්වෙන අතර ඩොල්ෆින් හා තල්මසුන්ද, සබ්මැරීනද මෙය උපයෝගී කරගනී. වවුලන් උන්ගේ නාසයෙන් හෝ මුවින් ශබ්ද තරංග නිකුත් කර, ඒවායේ දෝංකාරයේ දිශාව හා තීව්‍රරතාවය මත, ගමන් මග ඇති බාධක හදුනාගනී.
එසේම මෙම “එකෝලොකේෂන්” ක්‍රියාවලිය වවුලන් කෘමීන් ගොදුරු කර ගැනීමටද උපයෝගි කර ගනී. මෙම ක්‍රමය කොතෙක් කාර්‍යක්‍ෂමද යත්, පැයක් ඇතුලත කෘමීන් 1200 පමණ ගොදුරු කර ගැනීමට ඔවුනට හැක.
අප පෘථිවියට ශක්තිය ලැබෙනුයේ සූර්‍යාගෙන් නිකුත් වෙන විකිරණයන්ගෙනි. (Radiation) මේවායින් 30% පොලෝ තලය මගින් පරාවර්තනය කරන අතර ඉතිරි 70% අවශෝෂණය වේ. මෙසේ අවශෝෂණය වූ සූර්‍ය විකිරණ නැවත අධෝරක්ත කිරණ (Infrared) ලෙස වායුගෝලයට මුක්ත කරන අතර ඉන් සමහරක් නැවත අභ්‍යාවකාශයට පිටවී වී යයි. තවත් සමහරක් වායුගෝලයේ ඇති සමහර වායූන් මගින් අවශෝෂණය කරගෙන නැවත තාප කිරණ ලෙස පොලො මතුපිටට මුදා හරියි. මෙය හරිතාගාර ආචරණය (Greenhouse effect) ලෙස හැදින්වෙන අතර, මේ සදහා ප්‍රධාන වායූන් තුනක් දායක වේ. ඒවා නම් කාබන්ඩයොක්සයිඩ්, මීතේන් සහ ජලය වේ. මිනිසාගෙ ක්‍රියාවන් හේතුවෙන් වායුගෝලයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාරීවේ.

මෙසේ මිහිකත උණුසුම් වීම තුලින් තවත් ප්‍රශ්න රාශියක් මතු කරයි. මෙමගින් අයිස් ග්‍ලැසියර දිය වී මුහුදු ජල මට්ටම ඉහල යයි.

වැඩිදුර කියවීම් : සිංහල විකීපිඩියා

« Newer Posts - Older Posts »

Categories