මී මැස්සන් මී පැණි සාදනුයේ මල් පැණි වලිනි. මල් පැණි වල 80% ජලයද ඉතිරිය සංකීර්ණ සීනි අණු ද වේ. මී මැස්සන් විවිධ මල් වලින් පැණි උරා බොයි. මී මැස්සන් බටයක් වැනි උන්ගේ දිවෙන් මල්පැණි උරා ගෙන ඒවා උන්ගේ “පැණි උදරයේ” ගබඩා කර ගනී. උන්ට “පැණි උදරයක්” හා “සාමාන්‍ය උදරයක්” ලෙස උදර දෙකක් ඇත. “පැණි උදරයට” 70 mg පමණ මල් පැණි ගබඩා කල හැක. මේ සදහා උන් සාමාන්‍යයෙන් මල් 100 ත් 1500 ත් අතර ප්‍රමාණයකින් පැණි උරා බොයි.
පැණි මී මැස්සන් මල් පැණි බී අවසන්ව, මී වදය වෙත ගොස් ඒවා වැඩකාර මැස්සන්ට ලබා දේ. උන් ඒවා පැණි මැස්සන්ගෙන් උරා ගෙන, පැය භාගයක් පමණ සපයි. මෙම කාලය තුල එන්සයිම මල් පැණි වල ඇති “සංකීර්ණ සීනි අණු” සමග ක්‍රියාකර “සරල සීනි අණු” බවට පෙරලයි. මෙම සරල සීනි අණු දිරවීමට පහසු මෙන්ම මී වදයේ ගබඩා කර තැබීමේදී ඇතිවෙන බැක්ටීරියා ක්‍රියාකාරීත්වයද අඩු කරයි. ඉන්පසු මෙම වැඩකාර මැස්සන් මේවා මධුපටක වල විසුරුවා හැර එහි ඇති ජලය, වාෂ්ප වීමට ඉඩ හරී. මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට උන් ඒවා අසලින් පියාඹමින් උන්ගේ පිහාටු වලින් හුලං ගසනු ලැබේ. මෙමගින් පැණිය උකු වූ විට මධුපටක ඉටි මූඩියකින් වසනු ලැබේ.








